දුෂ්කරතා කියන්නේ අපි හැමෝගෙම ජීවිත වල කොටසක්. අපේ ස්වභාවික ඔරොත්තු දීමේ හැකියාවන්, ක්‍රියා කිරීමේ සහ සිතීමේ පුරුදු වලින් ජීවිතයේ එන දුෂ්කරතා වලට මුහුණ දෙන ආකාරය ඉගෙන ගන්න පුළුවන් කියලා නූතන විද්‍යාවෙන් සොයාගෙන තියෙනවා.
ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ අපේ ජීවිතයට දුෂ්කර අවස්ථා එන්නෙ නෑ කියලා, එසේත් නැත්නම් කවදාවත් වේදනාවක්, කළකිරීමක්, රිදවීමක්, දුකක්, බියක්, හෝ වෛරයක් වැනි හැගීම් දැනෙන්නෙ නෑ කියලා.
ඔරොත්තු දීමේ හැකියාව කියන එකෙන් අදහස් කරන්නේ කාලයත් සමඟ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ට ඇති හැකියාවයි.
සිදුවුන දේ පිළිගැනීමට, අවස්ථානුකූලව අනුවර්තනය වීමට නැත්නම් හැඩගැහෙන්නට ඇති හැකියාවයි.
අධ්‍යන වලින් පෙන්නන්නෙ, අපගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට සහ ගොඩනැගීමට කුසලතා,හැඟීම් සහ පුරුදු උපකාරී වන බවයි.
ඔරොත්තු දීමේ හැකියාව අපගේ ජීවිතවලට ළං කරගන්න අවශ්‍ය පළමුවන පියවර වන්නේ,
අවස්ථාවට සක්‍රීයව මුහුණ දීම.
මොකක්ද මේ සක්‍රීයව මුහුණදීම කියන්නේ?
ඒ කියන්නේ, අපි ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැටලු පිළිගැනීම සහ නිර්මාණාත්මක විදියට ඒ ප්‍රශ්නවලට උත්තර සෙවීමයි.
උදාහරණයක් විදියට, ඔබේ කාර්යාලයේ තිබෙන වැඩකටයුතු එන්න එන්නම අසීරු වීමට අමතර ව, ඔබට ලැබෙන වැටුපෙන් මාසික වියදම් පියවා ගත නොහැකි තත්ත්වයට පත්වීමත් නිසා ඔබට ඉදිරිය ගැන බයක්, අවිනිශ්චිත බවක් හැගෙනවා වෙන්න පුළුවන්.
එහෙමත් නැත්නම්,
covid 19 වෛරසය සමග පාසල් වැසී ගිය නිසා, තෙල් හිඟය නිසා, පාසල් යාමට ප්‍රවාහන දුෂ්කරතා තිබුණ නිසා ඔබට පාඩම් අතපසු වෙන්න ඇති. එම නිසා ඔබ විභාග ගැන කල කලකිරීමෙන්, බියෙන් සිටිනවා වෙන්න පුළුවන්.
ඉතින් කලකිරීීම, බිය, අවිනිශ්චිත බව වගේ හැඟීම් වලට යටත් නොවී නිර්මාණාත්මක විදියට උත්තර හොයන එක තමයි සක්‍රීය මුහුණ දීම කියන්නේ.
අපි ප්‍රශ්නෙක ඉන්නකොට අපේ ජීවිතේ පාලනයක් නැති බවක් අපිට හැගෙනවා.
උදාහරණයක් විදියට වාහනයක සුක්කානම තමන්ගෙ අතින් ගිලිහී ගිහින්, වාහනේ පාලනය තමන්ගෙ අතින් අත් හැරිලා වගේ දෙයක් දැනෙනවා.
ඒත් හැම ප්‍රශ්නයකින් ම ගොඩ එන්නට, නැත්නම් එම ප්රශ්නය විසඳ ගන්නට අපිට ක්‍රම තියෙනවා. හරියට නිකං පාලනයෙන් ගිලිහී ගිය වාහනයක් භයානක අනතුරකට මුහුණපාන්නට කලින් තිරිංග පාගා නවත්වා ගැනීම වගේ දෙයක්.
සමහර ප්‍රශ්න අපිට තනියම විසඳ ගන්න බැරි වෙන්න පුළුවන්. හරියට නිකං වාහනේ මග කැඩිලා අපිට තනියම හදාගන්න බැරුව ඉන්නවා වගේ. එතකොට අපිට පුළුවන් මාර්ගය අසල සිටින වෙනත් කෙනෙකුගෙන් උපකාරයක්/ උදව්වක් ලබාගෙන වාහනය හදාගන්න.
මදක් සිතන්න: ඔබේ ජීවිතයේ අභියෝගාත්මක හෝ දුෂ්කර කාලයක් ගැන හිතන්න. එයට මුහුණ දීමට සහ එයින් ජය ගැනීමට ඔබට උපකාර වූයේ කුමක්ද? අද එය ඔබට උපකාර වන්නේ කෙසේද?
ඔරොත්තු දීමේ හැකියාව සඳහා ආයෝජනය කිරීම.
අපගේ සතුට සහ යහපැවැත්ම වැඩි දියුණු කර ගැනීමෙන් අපගේ ඔරොත්තු දීම ද දියුණු කරගත හැක.
කොහොමද අපි සතුට සහ යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ?
අන් අය සමඟ ඔබේ සබඳතා පෝෂණය කිරීම, ව්‍යායාම කිරීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, නිසි ලෙස ආහාර ගැනීම සහ මත්පැන් හෝ වෙනත් ක්‍රමවලින් ඔබව වැටෙන්නට ඉඩ නොතිබීම යනාදිය මේ සඳහා විශේෂයෙන් ම වැදගත් වෙනවා.
ඒ වගේම, සිදු වන යහපත් දේ නිරීක්ෂණය කිරීම, යථාර්ථවාදී ශුභවාදී හැඟීමක් වර්ධනය කර ගැනීම, අලුත් දේවල් අත්හදා බැලීම වගේ දේවල් ද උපකාරී වෙනවා.
මදක් සිතන්න: ඔබේ ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීමට සහ ගොඩනැගීමට ඔබට උපකාර වන ක්‍රියා මොනවාද? ඔබ ප්‍රශ්නයක ඉන්න විට ඔබට උපකාර ලබාගත හැකි ඔබගේ අසල්වාසීන් කවුද? ඒ සබඳතා වැඩි දියුණු කර ගන්නේ කොහොමද?
ඔරොත්තු දෙන සිතුවිලි අපගේ සිතුවිලි හා හැඟීම් මෙහෙයවයි.
සමහර වෙලාවට අපේ ජීවිතයේ විවිධ අත්දැකීම් එහෙමත් නැත්නම් සිදුවීම් දීර්ඝකාලීන වශයෙන් නොතිබිය යුතු හැඟීම් අවුස්සනවා.
උදාහරණයක් ලෙස බිය හෝ කෝපය.
අපි මේ හැඟීම් අපගේ ජීවිතයට ඇතිවන්නෙ ඇයි කියලා බැලුවොත්, බොහෝ වෙලාවට මේ හැඟීම් අපිට ඇති වන්නේ අපේ හිතේ ඇතිවන සැකය නිසයි.
උදාහරණයක් විදියට-
- මං අද කාර්යාලයේදී මාගේ සගයාට, කිව්ව දේ ගැන ඔහුට මොනවා හිතෙයිද?
- හෙට තියන විභාගයට මං නොගියොත් පාසැල් ගුරුවරියට මොනවා හිතෙයිද?
- පාසල් වාර විභාගය එහෙමත් නැත්නම්, කඩයිම් විභාගය මම ෆේල් වුනොත් ගෙදර අම්මා තාත්තා නංගි මල්ලි, හිත මිතුරන් මාව අසාර්ථක මනුස්සයෙක් විදියට දකී.
- මාගේ ආදරවන්තිය/ ආදරවන්තයා මා මග හරින්නේ මට අකමැති නිසා වෙන්න ඇති.
මේ වගේ හිතන එක සාමාන්‍යයයි. අපි හැමෝටම මෙහෙම හිතනවා විවිධ අවස්ථාවලදී.
ඔරොත්තු දීමේ හැකියාව කියන්නේ මේ වගේ හැඟීම් වලට ධනාත්මක ලෙස මුහුණ දෙන එකයි.
නැතුව ඒ හැඟීම් යටපත් කරලා ඒවා අමතක කරන්න උත්සාහ කරන එක නෙමෙයි.
අපි මේ වගේ ඍණාත්මක හැඟීම් යටපත් කරන්න කරන්න ඒවා යළිත් වඩා ප්‍රබල ලෙස අපගේ ජීවිතයට එනවා. හරියට නිකං රබර් බෝලයක් ඇඟිල්ලෙන් තෙරපලා වතුර යට ම ගිල්ලලා තියන්න අපි උත්සහ කරනවා වගේ.
ඒ නිසා වඩාත් සාර්ථක ඔරොත්තුදීමේ හැකියාවක් ඇති කරගැනීමේ පළමු පියවර නම්,
කෙටි විරාමයක් ගැනීම, හුස්ම ගැනීම සහ ඔබේ ක්ෂණික අර්ථකථන පරීක්ෂා කිරීමයි.
උදාහරණයක් විදියට ඔබට පුළුවන් ඔබෙන් අහන්න, මං මේ හිතන දේ ඇත්තටම හරිද? මං කොහොමද එහෙම හිතන්නේ? මං එහෙම හිතුවාම මං බය වෙනවා නැත්තං කෝපයට පත් වෙනවා ඉතින් එහෙම නොවී සිටීමට මට මේ දේ ගැන හිතන්න පුළුවන් වෙනත් විදියක් තියෙනවාද? ඒ මොකක්ද?
සමහර විට ඍණාත්මක හැඟීම් ගොඩක් ප්‍රබල නිසා මේක තනියම කරන්න බැරි වෙන්න පුළුවන්. දුකට පත්වන්න එපා ඒ අවස්ථාවේදී අපිට තවත් කෙනෙකුගේ සහය ලබා ගැනීමට පුළුවන්. ඒ ඔබේ ළඟම මිතුරා, මිතුරිය, පවුලේ සාමාජිකයෙක් එහෙමත් නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් හෝ මනෝ උපදේශකයෙක් වෙන්නට පුළුවන්.
මතක තබාගන්න උදව් ඉල්ලීම දුර්වලකමක් නොවේ. අවශ්‍ය මොහෙතේ උදව් ඉල්ලීම සාර්ථකත්වයේ රහසයි.
-දුලේක්ෂා දළුවත්ත –